මහ ඡන්දය

“කමලා දන්නවද … අපෙ පොඩිකාලේ මතක් වෙනකොට මට ආයෙත් කරන්න ආසාම මොකද්ද කියලා?”

අපි හතරදෙනාම රැ කෑමෙන් පස්සේ ඉස්සරහ ඉස්තෝප්පුවේ කතා කර කර ඉන්නවා. රෑට මෙහෙම ඉන්න අපිට නිදහස තියෙන්නේ ළමයින්ගෙ විභාග ඉවර නිසාත් කමලගෙ ඉස්කෝලේ නිවාඩුවත් නිසා. මගෙ ප්රශ්නෙට පළමුවෙන් උත්තර ආවේ දරුවන්ගෙන්.

නිලන්ත හිතුවේ කිසිම වගකීමක් නැතුව ගමේ ඉඩමේ ලොකු අප්පච්චිලයි නැන්දලයි එක්ක සෙල්ලම් කරන එක මගෙ ලොකුම ආසාව කියලා. සිරිනිගෙ අදහස ඊට වඩා මෑත කාලේ ප්රවුර්තියකට සම්බන්ධයි.

“අප්පච්චිට ඕන හතේ කනුව ලඟ තැබෑරුමක් පටන්ගන්න නේද?”

“රිනී!”

සිරිනිගෙ මේ වගේ විහිළුවට කමලා කැමති නෑ. මගෙ ප්රශ්නෙට පවුලගෙ උත්තරේ වැරැදි වුනාට නරක නෑ.

“ඕන ඔට්ටුවක් ඔයාට ඕනෑ එක්කෝ කුඹුරු වැඩ දවසක හරි කොළදිමකට ගමේ ඉන්න… මුත්තෙට්ටුයි, එහෙ මෙහෙ දුවන නිදහසයි… නේද?”

“කිට්ටුයි හැබැයි වැරදි!”

“අප්පච්චී… අපි ඕක හරියට ගෙස් කරනකං හිටියොත් අද නිදන්ට වෙන්නෙ නෑ!... එහෙනං ඔන්න මගේ කොන්ට්රිබියුශන්… ගස් නැගලා පොල් කඩන්ට… හොරෙන් අඹ කන්ට… ඇලේ නාන්ට…”

“ඇති ඇති! තැන්ක්යූ ඒ සේරටම. ඒවත් නියමයි තමා… හැබැයි මට අද හිතුනේ මහ ඡන්දේ දවසට රේඩියෝ එක දාගෙන ඡන්ද ප්රතිපල අහන්න තිබුනොත් නියමයි කියලා… ඒ දවස්වල අපි බිම අතුරපු පැදුරු උඩ වාඩිවෙලා තේ බිබී ඡන්ද ප්රතිපල ඇහුවා. ගමේ සමහරුත් ආවා - ඒ ගෙදර රේඩියෝ නැති අය. අපිට කිසි තේරුමක් නෑ කවුද ඉල්ලන්නේ, කවුද දිනුවේ පැරදුනේ කියලා. ඒත් ඔහේ අහගෙන හිටියා!”

“බෝරිං!”

“දැන් හිතනකොට ඇත්තටම බෝරිං තමා. හැබැයි ඒ දවස්වල දිණමින පත්තරේ තිබුනා ඡන්ද කොට්ඨාසත් ඒවගෙ අපේක්ෂකයොත් ලයිස්තු. ප්රතිපලයක් ආපු ගමන් ඒක ලයිස්තුවට ඇතුල් කරේ වැඩිහිටියෝ. පුංචි අපිට ගානක් නැතිවුනාට වැඩිහිටියන්ට මේක හරිම සීරියස් - මට මතකයි සමහර ගමේ මිනිස්සු ගෙදර යනවා ඒ අයගෙ පක්ෂේ පැරදෙනවට තරහ ගිහින්!”

“අනේ මට නං ඒකට කිසි ආසාවක් නෑ - හොඳට නිදාගෙන පහුවදා උදේ රේඩියෝ එකෙන් අහගන්න පුළුවන් එකේ!”

කමලගෙ වචනෙට දරුවෝ දෙන්නත් එකඟ වුනා. නලින් ඒක වචනයට හැරෙව්වා.

“ටීවී / ඉන්ටනෙට් නැති එකේ ආදිනව!”

කමලට මා ගැන පවු හිතෙන්න ඇති.

“ඇයි ඉතින් මේ සැරේ ගිහින් රෑ ඉන්නෙ නැත්තේ? මාමලා ඇහැරලා ඉන්නෙ නැතිවෙයි හැබැයි. තව සති හයකින් ඡන්දේ කෝල් කරලා තියෙන නිසා නේද ඕක මතක්වුනේ?”

…………………………….

කලින්ම මගේ අදහස මම මාමට කිව්වා, කමලගෙ තක්සේරුවත් එක්ක.

“පුතා… අපි දැන් මුළු රෑ ඇහැරලා ඉන්නෙ නෑ පිරිතකටවත්! හැබැයි තවම ඡන්දේ දවසට ටිකක් වෙලා ඇහැරලා ඉන්නවා. ගිය ඡන්දෙට අපි ඇහැරලා හිටියා දොලහ පහුවෙනකං - එක ප්රතිඵලයක්වත් නෑ! පස්සේ ‘ඡන්දේ බල්ලට දාන්ට’ කියලා අපි නිදාගත්තා! පුතා එනව නම් මම විජේසිංහට එහෙම කතා කරන්ට පුළුවන්; අපි නිදා ගත්තත් පුතාට ටිකක්වත් ඇහැරලා ඉන්ට පුළුවන්”

එක සැරේම වචනයක් දෙන්න මම කැමතිවුනේ නෑ. මාමටයි නැන්දටයි මං හිතුවට වඩා කරදරයක් නම් මම එහෙ යන එක වැරදි.

“දවස් කිට්ටු වෙනකොට බලමු මාමා - තව කල් තියෙනවානේ. මං කෝල් එකක් දෙන්නම්”

මට ටෙලිෆෝන් කරන්න අවශ්යතාවයක් වුනේ නෑ. ඡන්දෙට සතියකට ඉස්සර මාමයි නැන්දයි නුවර ආවා, වෛද්‍ය පරීක්ෂණයකට දොස්තර හම්බවෙන්න.

එදා උදේ දෙන්නා කෙලින්ම ආවේ අපෙ ගෙදර. වෙනදා නම් මාමලා දොස්තර හමුවීමෙන් පස්සේ අපෙ ගෙදර එන්නේ - සමහරවිට අපෙ ගෙදර නොඇවිත් කෙලින්ම ආපහු ගමේ යනවා.

කමලා තේ මේසය ලෑස්ති කරන වෙලාවේ මාමයි නැන්දයි කාරෙකේ දොස්තර පරමසිවම් හමුවෙන්න එක්ක යන්න මම පොරොන්දුවුනා. මගෙ පරණ යාළුවෙක් වන පරම්ට ටෙලිෆෝන් කරලා මම හමුවෙන්න වෙලාවකුත් නියම කරගත්තා.

“ඉතින් මාමා මේ නිකම්ම චෙකප් එකක්ද නැත්තම් දෙන්නගෙන් එක්කෙනෙකුට හරි මොකවත් අමාරුවක් තියෙනවද?”

“එහෙම කියන්ට අමාරුවක් නෑ පුතා… චෙකප් කවදා හරි කරන්ට තියෙන එක පුළුවන් වෙලාවේ කරගත්තනං ඉවරයිනේ…

කමලා මේකට සම්පූර්ණන්ම එකඟවුනා.

“ඔවු ඉතින් ඡන්දෙන් පස්සේ මොක වෙයිද කවුද දන්නේ? ඊට ඉස්සර කරගන්ට තියෙන දෙයක් කරගන්න එක හොදයි තමා”

මමත් ඒකට සහය දුන්නා.

“ඒක ඇත්ත මාමා… අනික, පරම් හම්බවෙන්නේ දවල් කෑමට පස්සේ නිසා අද මෙහෙ නැවතිලා හෙට මාත් එක්ක ගමේ යන්න පුළුවන්. මං ගෙදරට පනිවිඩේ යවන්නං”

වෙනදා හේතු කීපයක් පෙන්වා දීලා මේ යෝජනාවට වහාම විරුද්ධ වෙන මාමා අද නැන්දා දිහාට ඇස් යොමු කළා. නැන්දත් මාමා දිහා බැලුවේ කනගාටුවෙන් වගේ.

“… හ්ම්… එහෙමත් කර හැකි තමා…”

මේ තරම් ඉක්මනින් මගේ යෝජනාවට එකඟවීම සාමාන්ය සිදුවීමක් නෙවෙයි. කුස්සි අම්මයි ගුනපාලයි තනි කිරීමට අකමැත්ත, යෙදී ඇති කුඹුරේ හෝ වත්තේ වැඩ, පාසලේ හෝ පන්සලේ රැස්වීම්… වහාම ගමේ යන්න හේතු බොහොමයි. අද ඒ කිසි දෙයක් නෑ. ඒ වගේම, වෙනදා චෙකප් පුළුවන් තරම් කල් දමන මාමා මේ සැරේ ඒකට හදිස්සි වීමත් මේ වෙනසට සම්බන්ධ ඇති කියලා මට හිතුනා. ඒ ගැන පර්ශ්නේ මම යොමුකළේ නැන්දා වෙත.

“නැන්දා… මේ දවස්වල ගෙවල් පැත්තේ කොහොමද? හෝ ගාලා ඡන්ද රැස්වීම් එහෙම තියෙනවද?”

සුළු නිහඬතාවයකට පස්සේ නැන්දා උත්තර දුන්නේ බිම බලාගෙන.

“… ඡන්දේ තමා! ...ඔය ඡන්දේ නැත්තටම නැත්තං ආයෙ අපිට කරදරයක් නෑ!..”

මෙහෙම කියලා නැන්දා මාමා දිහා බැලුවා, හරියට රිලේ තරඟෙකදී බැටන් පොල්ල බාර දෙනවා වගේ. මාමා උගුර පාදලා යන්තමට හිනාවුනා.

“අපෙ පලාතේ ඡන්දෙට ලොකු පක්ෂ දෙකෙන් ඉල්ලන දෙන්නා මාව හොඳට දන්නවා. ආයෙ ඉල්ලන ස්වාධීන අපේක්ෂකයෙක් අපෙ දුර නෑදෑයෙක්. උන් තුන්දෙනාම කියන්නේ මම උන්ගෙ පැත්තේ කියලා… සද්ද නැතුව එහෙම කිව්වට මට ප්රශ්නයක් නෑ - හැබැයි මීටිං වලත් මගෙ නම කියවෙනවලු… ටිකිරිබංඩා පෙරේදා කිව්වා සමහර පෝස්ටර වලත් මගෙ නම තියෙනවලු!”

“ඒක වැරදි වැඩක්නේ! මාමගෙන් අවසර නැතුව මාමගෙ නම ප්රසිද්ධියේ එහෙම පාවිච්චි කරන්න බෑ කියලා මට හොඳටම ශුවර්… පොලිසියට කියලා බැලුවෙ නැද්ද?”

“අපෙ පැත්තේ පොලිසියේ ලොක්කා අර අබේකෝන් පුතානේ… ඒ පුතා අපෙ ගෙදර ආවා දවස් කීපෙකට ඉස්සර. මම ඇහුවා ඒ ගැන මොකද කරන්න පුළුවන් කියලා… මිනිහා බිම බලාගෙන කිව්වේ ‘දෙපැත්තෙන්ම බලවත් මිනිස්සු මේවා කරන්නේ - අපි මොක කෙරුවත් ඡන්දෙට ඉස්සර කිසි දෙයක් නොවෙන්ට ඒ අය වග බලාගන්නවා’ කියලා. මට ඒ කොලුවා ගැන දුක් හිතුනා - හොඳ හැදිච්චි එකා හැබැයි බලවත් මිනිස්සු එයා නොමග යවන්ට උත්සාහ කරනවා… මං හිතන්නේ එයා අපෙ ගෙදර ආවේ ඒ ටික කියන්ටම තමා…”

මගෙ මාමා වුනත් නොවුනත් ගමේ වැදගත් කෙනෙකුට මෙහෙම කරදර ඇතිවීම මගෙ හිතට අමාරුයි. මම ‘ආදර්ශ ගමක්’ හැටියට හිතාගෙන හිටි අපෙ කුඩාගමෙත් මෙවැනි දූෂිත ක්රියා මම බලාපොරොත්තුවුනේ නෑ.

“තව දවස් කීපෙකින් ඡන්දේ ඉවරවුනහම ආයෙත් ඉස්සර වගේ මිනිස්සු හැසිරෙන්ට පටන්ගනියි මාමා. මේ කරදර ගෙදරටම එන්නෙ නෑ නේද?”

“පුතා… අපෙ ගෙදරට දැන් සමූපකාරෙට වැඩිය මිනිස්සු එනවා යනවා. හාන්සිපුටුවේ ඉඳන් පත්තරේ කියවන්ට වෙලාවක් නෑ! පක්ෂ සපෝටර්ලා කියයි, අපේක්ෂකයංගෙ නෑයෝ කියයි, පත්තර කාරයෝ කියයි, වේදිකා සරසන්ට පොල්ගොබ ඉල්ලන්නෝ කියයි… සාමාන්ය ඡන්ද හිඟන්නෝ කියයි… පුතා දවසක් ඇවිත් බලන්ට; අපි දෙන්නට කතා කරන්ට වත් වෙලාවක් හම්බවෙයිද මංදා!”

ස්වෝත්සාහයෙන් තමාට ඔබින සන්සුන් ජීවිතයක් ගොඩනගාගත් මාමටයි නැන්දටයි එම සන්සුන්බව නැති කරන ඕනෑම දෙයක් මනසේ පීඩාවට හේතු වෙනවාට සැකයක් නෑ. අනාරාධිත අමුත්තෝ, තමා දීමට අකමැති දේ ඉල්ලා බලකරන්නෝ වුවත්, ගෙදරින් එළවාගන්න ඒ දෙන්නගෙ සත්පුරුෂභාවය ඉඩ දෙන්නෙ නෑ. අනික් අතට ඡන්දේ ඉවර වෙනතුරු මෙවැනි කරච්චලයකට මුහුණ දීම කිසිසේත් පිළිගත නොහැකියි.

උත්තරයක් ආවේ කමලගෙන්.

“මාමලාට කිසි කරදරයක් නැතුව මෙහෙ ඉන්ට පුළුවන් චන්දේ ඉවර වෙනකං… මං දන්නවා ඒකට මාමලා කැමති වෙන්නෙ නැතිවෙයි කියලා…. එහෙම බැරිනං, හෙට අජිත් එක්ක ගිහින් දවස් කීපයක් අජිත් එහෙ නවත්තගන්ට… අජිත්ට පුළුවන් ඔය ඡන්ද කාරයෝ එක්ක කතා කරලා, බොරුවට හිනා වෙලා, ඕන එක්කට ‘හා’ කියලා ඒ අය එළවගන්ට! එතකොට මාමා නෙවෙයි ඒ අයත් එක්ක කතා කරන්නේ… අනික… කියන්ට පුළුවන් අජිත් එහෙ ඉන්නේ මාමයි නැන්දයි බලා ගන්ට කියලා - දොස්තර උපදෙස් අනුව!”

මාමගෙ මුහුණේ පොඩි හිනාවක් ඇඳුනට මට පෙනුනේ මේ විසඳුම ගැන මාමගෙ වැඩි විශ්වාසයක් නැති බවයි. කමලගෙ විසඳුමේ තව පැත්තක් මම දැක්කා.

“මාමා මං කොහොමටත් ඡන්දේ දවසේ එහෙ එන්න හිටියේ… හැබැයි අපි කවුරුවත් මුළු රෑම ඇහැරලා ඉන්නෙ නැතිනිසා ඇයි මම ඊලඟ දවස් කීපෙට එන්නෙ නැත්තේ? දැන් අවුරුදු විසිපහක් වත් ඇති මම ඡන්ද කාලේ ගමේ ඉඳලා… අනික මේ දවස්වල මෙහෙ වැඩත් හුඟක් අඩුයි”

මට හිතුනේ මාමා යෝජනාවට කැමතිවුනේ නැන්දගෙ මුහුණේ හිනහව දැකලයි.

…………………………….

අපි ගමේ ආවේ දවල් කෑමට ඉස්සර. ගෙදර ලඟ කාරෙක නවත්තනකොට මම පළමුවෙන්ම දැක්කේ මිදුලේ හිටපු මා නොහඳුනන මිනිස්සු දෙන්නෙක්.

“ඒ ස්වාධීන එකාගෙ උන් වෙන්ට ඇති”

මාමා මෙහෙම කිව්වේ කසුකුසුවෙන්. දෙන්නා කාරෙකෙන් බැස්ස වහාම එක අමුත්තෙක් කට පුරා හිනාවෙවී කාරෙක පැත්තට ආවා.

“ලොකු මහත්තයා නුවර ගියා කිව්වේ? අපි මේ තුන්වෙනි සැරේට මෙහාට ආවේ - මේ ගමේ ඇවිදින ගමන්!”

මම ඉක්මනට බැහැලා කාරෙක වටෙන් ගිහින් මාමට බහින්න උදව් කරේ ‘මට පොඩ්ඩක් ඉඩ දෙනවද?’ කියමින්. මාමා ‘ලෙඩ’ චරිතය නියමෙට රඟපෑවා. අතක් බාගෙට උස්සලා යන්තම් හිනාවෙලා ගේ ඇතුලට ගියේ නැන්දගෙයි මගෙයි අත් අල්ලගෙන. මාමා කාමරේට ගිය වහාම මම එලියට ඇවිත් අමුත්තන්ට කතාකරේ ‘අවංක මුහුණක්’ පෙන්වමින්.

“හලෝ…. අපි මාමා දොස්තරට පෙන්නලා මේ එක්ක ආවේ… කවුරුවත් එක්ක කතා කරන්න මාමට බෑ… අපිට සමාවෙන්න”

“ඔබ තුමා කවුද?”

“මම අජිත් හේරත්. මේ මාමා අපෙ අම්මගෙ අයියා…මම මේ ගෙදර තමා හැදුනේ පොඩි කාලේ ඉඳන්… “

“අපි මේ ලොකු මහත්තයගෙ කිට්ටුවන්ත විජේසේකර මහත්තයා වෙනුවෙන් වැඩ කරන්නේ…”

මිනිහා තව කතා කරන්න ඉස්සර මම අත ඉස්සුවා.

“ඔවු… මට මාමා ඊයෙ රෑ කිව්වා එයා ඡන්දේ ඉල්ලන බව… හොඳ හාදයා කියලත් කිව්වා… ඔබ තුමාලට මාමත් එක්ක කතා කරන්නනම් හම්බ වෙන්නෙ නෑ… දොස්තරගෙ නීති! වෙන අපේක්ෂකයෙකුගෙ සපෝටර්ලටත් කතා කරන්න හම්බ වෙන්නෙ නෑ…”

එදා හවස් වරුවම ඒ විදිහටමයි ගෙවී ගියේ.

ඡන්ද අපේක්ෂකයන්ගෙ ආධාරකරුවෝ පමණක් නොව ඡන්දය ගැන විවිධ මත දරන හෝ ප්රශ්න ඇති ගැමියෝත් මාමා සමග ඒ ගැන සාකච්ඡාවට රුචියක් පෙන්වුවා. මෙවැනි සාකච්ඡාවලට (තේ බීමත් සමග) සෑහෙන කාලයක් වැය වන බව පෙර අත්දැකීමෙන් මම දැනසිටියා.

අද ඒ සියල්ලෙන් මාමා ගලවා ගැනීමට මම සමත්වුනා. ගැමියෝ ‘දොස්තරගෙ නීති’ වලට තාමත් ගරු කරණවා.

අප්පුහාමී හමුවීමට අපි තීරණයකළේ එදා හවස වටින් ගොඩින් අඳුර වැටීගෙන එන වෙලාවෙයි. මාමයි මමයි මිදුල අයිනේ බංකුවේ වාඩිවෙලා තේ එකක් තොලගානවා..

“අද මාව බේරාගත්තට පුතාට පින්… හැබැයි මං හිතුවේ මේකයි පුතා… ඡන්දේ ඉවර වෙනකං මේ කරදරේ තියෙයි. කාටවත් හිරිහැරයක් නොවෙන විදිහට ඒක නවත්තන්ට මට බෑ. පුතාට මෙහෙ පදිංචි වෙන්ටත් බෑ! මං හිතුවේ අප්පුහාමිටවත් කියලා බලමුද කියලා…”

“එයා කොහොමද කාටවත් හිරිහැර නොවෙන විදිහට මිනිස්සු එළවන්නේ? දන්නවානේ එයා මීට ඉස්සර ප්රශ්න විසඳපු හැටි!”

“අනේ මං දන්නෑ පුතා… වෙන ගැලවීමක් මට පෙනෙන්ට නෑ”

“එහෙනං මාමා අපි රෑවෙන්න ඉස්සර උඩහට ගිහින් එමුද?”

අපි අප්පුහාමී හම්බවෙන්න ගියේ ‘දවසම ගේ අස්සේ අඳලා දැන්වත් අතපය දිගෑරගන්ට ඕනෑ’ කියා නැන්දට කියලා.

අප්පුහාමිට සම්පුර්ණ කතාව විස්තර කරන්න අවශ්යවුනේ නෑ; එයා දන්නවා අපෙ හිතේ තියෙන දේ. එයා අපිට කිව්වේ එකම දෙයයි.

“මහත්තයලා දැන් ගෙදර යන්ට - මං බලන්නං මේක කරන්ට හොඳම ක්රමය මොකද්ද කියලා”

………………………………

අපි උදේම ලෑස්තිවුනා අදත් අමුත්තෝ සේනාවකට මුහුණදෙන්න. වෙනදට වඩා උදෙන් තේ බීලා අපි ‘දොස්තර නීති’ මතක් කරමින් ඉස්තෝප්පුවේ වාඩිවෙලා හිටියා. කවුරුත් ගෙදර පැත්තට එනවා දුටුවොත් මාමයි නැන්දයි ගේ ඇතුලට යන ලෑස්තියෙන්.

කිසි කෙනෙක් ආවෙ නෑ.

දවල් කැම වෙලාවෙත්, හවස තේ වෙලාවෙත් අපි මේ ගැන කතා කරා. නැන්දා හිතුවේ අද අසාමාන්ය දවසක් කියලා - ඡන්ද වැඩ කරන අයට ගොඩවදින්න ගැමි ගෙවල් සියගණනක් ඇති නිසා අද මේ ගෙදර ඒ කරදරෙන් ගැලවිලා.

මේ නිගමනයේ වරද පෙන්වා දුන්නේ ටිකිරබංඩා - හවස හයට විතර. ඒ වෙලාවේ මාමයි නැන්දයි මමයි අඳුර වැටීගෙන එන ඉස්තෝප්පුවේ වාඩිවෙලා තේ බොනවා. අපි අතරේ වැඩි කතාවක් තිබුනෙ නෑ. ටිකිරිබංඩා ආවේ කඩදාසි මිටියකුත් කිසිල්ලේ ගසාගෙන. මිටියම මාමා අතට දීලා ටිකිරිබංඩා මිදුලට බැස්සේ ‘මම ගිහින් එන්නං නිලමේ’ කියමින්.

මාමා ඒ මිටිය දිගහැර කඩදාසි එකින් එක දිහා බැලුවා. නැන්දයි මමයි සද්ද නැතුව හිටියා මේ අලුත්ම කරදරේ මොකද්ද කියා හිතමින්. විනාඩි පහක් නිහඬව කඩදාසි පිරික්සාබැලූ මාමා හදිස්සියේ මුළු මිටියම උඩ විසිකරේ මහ හඬින් හිනා වෙමින්. මල් වෙඩිල්ලක් මෙන් අනපේක්ෂිතව පිටවුන ඒ හිනාවට නැන්දයි මමයි දෙන්නම පුටුවලින් නැගිට්ටා.

මාමාගේ සලකුණකින් අපි කඩදාසි කිහිපයක් ඇහිඳගත්තා. එක එක පාටින් අච්චුගසා තිබුන සෑම පෝස්ටරයේම වචන වෙනස්වුනාට පණිවිඩය එක සමානයි. ඒවාගෙන් කියවුනේ ප්රධාන පක්ෂ වල අපේක්ෂකයෝ තුන් දෙනාම තම ඡන්දය තමාගේ විරුද්ධවාදී පක්ෂයකට දෙන බවට ප්‍රතිඥා දීමයි. ඔවුන්ගේ ප්‍රතිඥා වලට හේතුව ‘මට වඩා දක්ෂයෙකුට ඡන්දය දීමට ලැබීම වාසනාවක්!’

…………………………

මම පහුවදා නුවර ආවේ සතුටින්. නිදි මරාගෙන ඡන්ද ප්රතිඵල අහනවට වැඩිය මම තෘප්තියක් ලැබුවේ ඡන්දය කඩාකප්පල් කිරීමෙන්. කඩාකප්පල් කිරීමේ ක්රමය ගැන අවසාන වචනය ආවේ මාමගෙන්.

“බලන්ටකෝ පුතා… අර අප්පුහාමිගෙ පෝස්ටර් එකක්වත් හොයාගන්ට නෑනේ! මම ටිකිරිබංඩා යැව්වා ගම පුරහම - නෝ ලක්!”

අනාගතයේ ගැටළු උපදවියහැකි සාක්ෂි සාමාන්ය ජනයා අතර ප්රකට වනවාට අප්පුහාමී කැමති නෑ වගේ.